කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ගේ පණිවිඩය

කොවිඩ් 19 තත්ත්වය හමුවේ පාසල් වසා තැබීමට සිදු වීම නිසා විවිධ මාර්ග ගත ක්‍රම ඔස්සේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට පාසල්, කලාප අධ්‍යාපන කාර්යාල, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු හා අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදි. එහෙත් සියලුම සිසුන්ට මාර්ග ගත ක්‍රම ඔස්සේ සජීවීව ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ වීම අපහසු බව නිරීක්ෂණය වී ඇත.

සජීවීව එබඳු ඉගෙනුම් ක්‍රියාවලි සමග සම්බන්ධ වීමේ අපහසුතා ඇති සිසුන් සඳහා සහය වීම අරමුණු කරගනිමින් “සවියෙන් පෙරට - අපි එකට” නමින් මෙම ඉගෙනුම් උපකාරක සංචිතය හොරණ අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන සංවර්ධන අංශය මගින් ඵලදායී ලෙස සකස් කර ඇත. එක් එක් පාසල් වාරයට අදාළ පාඩම් සියල්ල ඒකක, ක්‍රියාකාරකම් හෝ නිපුණතා වශයෙන් පෙළගස්වා සකස් කළ ඉගෙනුම් උපකාරක, වීඩියෝ, පවර් පොයින්ට් ඉදිරිපත් කිරීම් සහ විස්තර කිරීම් වශයෙන් පෙළගස්වා ඇත. ඉගෙනුම් උපකාරකයට අමතරව එක් එක් පාඩමට අදාළ ඇගයීම් සහ පිළිතුරු ද අන්තර්ගතකර තිබීමෙන් සිසුවාට තමන් උගත් දෑ පිළිබඳ ස්වයං තක්සේරුවක් සිදුකර ගැනීමට අවස්ථාව සලසා ඇත.

මෙම ඉගෙනුම් සංචිතය මගින් සිසුන්ට දවසේ ඕනෑම වෙලාවක දුරකථනයක්, පරිගණකයක් හෝ අන්තර්ජාල පහසුකම් සහිත වෙනත් ස්ථානයක් (පාසලේ පරිගණක විද්‍යාගාරය/internet café) වෙත ගොස් ඉගෙනුම් උපකාරක පරිශීලනය කිරීමට හැකියාව ඇත. ඒ අනුව, සජීවීව ගුරුභවතුන් සමග සම්බන්ධ විය නොහැකි සිසුන්ට ද තම පාසලේ හෝ ප්‍රදේශයේ පවතින අවම සම්පත් භාවිත කරමින් තම අධ්‍යාපන කටයුතු යම් මට්ටමකට අඛණ්ඩව සිදු කිරීමට අවස්ථාව සැලසීම මෙමගින් අපේක්ෂිතය.

මෙම කාර්යය සිදු කිරීමෙහිලා තාක්ෂණික හා ශාස්ත්‍රීය සම්පත් දායකත්වය ලබාදුන් හොරණ අධ්‍යාපන කලාපයේ සියලුම ගුරුභවතුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශක නිලධාරීන්, විෂය අධ්‍යක්ෂ මණ්ඩලය හා සමස්ත ව්‍යාපෘතියේ මෙහෙයවීම්, සම්බන්ධීකරණ හා නියාමන කටයුතු සිදු කළ නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන සංවර්ධන) විසින් හොරණ අධ්‍යාපන කලාපයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දක්වන කැපවීම බෙහෙවින් අගය කරමි.

මෙම අභියෝගාත්මක මොහොතේ සිය අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට වෙර දරන සියලුම දරුවන්ට සාර්ථකව සියලු අභියෝගවලට මුහුණ දීමට ශක්තිය ධෛර්යය ලැබේවා යි සුබ පතමි.

ඩී එම් ඩී දිසානායක

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

කලාප අධ්‍යාපන කාර්යාල

හොරණ